සෙනසුරු මාරුව ඔබට කොහොමද ?????
ක්‍රිස්තු වර්ෂ 2011 නොවැම්බර් මස 15 වැනිදා පෙරවරු 9.26 ට (GMT 03.56 - 2011 නොවැම්බර් මස 15) වසර තිහකින් පසු සෙනසුරු ග්‍රහයා සිය උච්ච රාශිය වන තුලාවට සංක්‍රමණය වෙයි. මෙම සෙනසුරු සංක්‍රාන්තිය අනුව 2011 නොවැම්බර් මස 15 වැනිදා සිට 2014 නොවැම්බර් මස 02 වැනිදා දක්වා මේෂ ආදී ලග්න දොළසින් උපන් අයට හිමි වන පලාපල මෙසේය.ාපල මෙසේය.
මේෂ
මංගල යෝගයක්
මේෂ ලග්නයෙන් උපන් ජන්මින්ගේ සෙනසුරු ග‍්‍රහයා හත්වැන්නා වූ තුලා රාශියට පැමිණ බලවත් වෙයි. හත්වැන්න විවාහ ස්ථානයයි. සෙනසුරුට දිග්බල ස්ථානය වූ හත්වැන්නට බලවත්ව පැමිණීම මේෂ ලග්න හිමියන්ට ප‍්‍රබල මංගල යෝගයක් උදා වීමක් සේ සැලකිය හැකිය. මෙතෙක් කල් විවාහය ප‍්‍රමාද වූ මේෂ ලග්න හිමියන්ට ඉදිරි කාලය තුල විවාහය සිදු වීමට හෝ මංගල යෝගයක් ස්ථිර වීමට නියමිත වෙයි. සාර්ථක පේ‍්‍රම සබඳතා ඇති වෙයි. විවාහක අඹුසැමියන් අතර සමගිය වර්ධනය වෙයි. හවුල් කටයුතු සාර්ථක වෙයි. රැකියා බලාපොරොත්තු වූ අයට රැකියා හිමි වෙයි. ආදායම් තත්ත්වය ඉහළ යයි.
වෘෂභ
සතුරු කරදර ලෙස දුක් නිම වෙයි
වෘෂභ ලග්න හිමියන්ගේ හය වැන්න වූ රෝග සහ සතුරු ස්ථානයට සෙනසුරු බලවත් වී පැමිණෙයි. වෘෂභ ලග්න හිමියන්ට යෝග කාරක ග‍්‍රහයා වූ සෙනසුරු බලවත්ව හය වැන්නට පැමිණීම මෙතෙක් පැවති සතුරු කරදර නිමාවට පත්වන බව පෙන්නුම් කරයි. ලෙඩ දුක් වලින් පීඩා විඳි වෘෂභ ලග්න හිමියන්ට නිරෝගී සුවය ලැබීමට හෝ ඉන් සහනයක් ලැබීමට මෙම ග‍්‍රහචාරය බලපාන බව පෙනෙයි. රැකියා ව්‍යාපාර ආදිය දියුණුවට පත් වෙයි. රැකියා ලැබේ. අනාගත දියුණුවට මග පෑදෙයි.
මිථුන
අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි
මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පස්වැන්න වූ විද්‍යා ස්ථානයට සෙනසුරු පැමිණීම අධ්‍යාපන කටයුතු වලින් ජයග‍්‍රහණය ලැබීමට හේතු වෙයි. වන්දනා ගමන් බිමන් ආදියට සහභාගී වනු ඇත. පිං දහම් කටයුතු වල යෙදෙමින් කාලය ගත කිරීමට සිත යොමුවනු ඇත. දරුඵල අපේක්‍ෂා කරන අඹු සැමියන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් පින්වන්ත දරු උපතක් සිදුවන කාල සීමාවකි. මිථුන ලග්න හිමියන්ගේ සිතේ පවතින බලාපොරොත්තු රැසක් ඉටුවන කාලයකි. විභාග, තරඟ විභාග වලින් ජය ලැබේ.
කටක
දේපල ලාභ හිමි වෙයි
කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සිව්වැන්නට බලවත් වී සෙනසුරු පැමිණෙයි. සිව්වැන්නේ සෙනසුරු බලවත් වීම දේපල ලාභ, යාන වාහන ලාභ හිමි වීමට හේතු වෙයි. උරුමයෙන් ලැබීමට තිබූ දේපලක අයිතිය මෙම කාල සීමාව තුළ ඔබට ලබා ගැනීමේ වාසනාව හිමි වෙයි. අධ්‍යාපනික කටයුතුවල නිරත කටක ලග්න හිමියන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙයි. 2011 නොවැම්බර් 15 සිට 2012 මැයි 16 දක්වා උපදින කටක ලග්න හිමි දරු දැරියන්ට "ශෂ" නම් යෝගය උදා කරමින් සිය පවුලට වාසනාව උදා කිරීමට හේතු වෙයි. රැකියා අපේක්ෂිත අයට රැකියා ලැබීමේ වාසනාව හිමි වනු ඇත.
සිංහ
සහෝදර සහෝදරියන්ගෙන් උදව්
සිංහ ලග්න හිමියන්ගේ තුන්වැන්න වූ වික‍්‍රම ස්ථානයට සෙනසුරු බලවත්ව පැමිණීම සුබයි. ඔබේ වැඩිමහල් සොයුරු සොයුරියන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. ඔවුන්ගේ ආදර ගෞරවයට පාත‍්‍ර වෙයි. නෑදෑ හිතවතුන්, අසල්වැසියන් සිංහ ලග්න ඔබ ගැන වෙනදා නොතිබූ පැහැදීමක් ඇති කර ගනියි. කෙටි ගමන් බිමන්, විදේශ සංචාර ආදිය යෙදෙයි. සතුරු කරදර නිමාවට පත් වෙයි. අනාගත දියුණුව සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරයි.
කන්‍යා
මිළ මුදල් ලැබේ/ඉගෙනීමේ කටයුතු දියුණු වෙයි
කන්‍යා ලග්න හිමියන්ගේ දෙවැන්නට පැමිණි සෙනසුරු බලවත් වෙයි. දෙවැන්න ධනස්ථානයයි. සෙනසුරු දෙවැන්නේ ගමන් කරන විට කන්‍යා ලග්න හිමියන්ට සෙනසුරු ඒරාෂ්ඨක අපලයක් ද උදා කරයි. ධනස්ථානයේ ඒරාෂ්ඨක අපලය උදා කර ඇතත් ඔබට ධන සම්පත් ලැබෙන කාලයක් ලෙස පැවසිය හැකිය. අතමිට මුදල් සරු වුවත් අධික වියදම් ගෙන දෙන කරුණු යෙදෙයි. මානසික සිත් තැවුල්, වැටීම්, තැලීම් තුවාල ආදිය ඇති කරයි.
තුලා
බලාපොරොත්තු ඉටු වෙයි
තුලා ලග්න හිමියන්ගේ ලග්නයට සෙනසුරු පැමිණ බලවත් වෙයි. ලග්නයට සෙනසුරුගේ පැමිණීම සෙනසුරු ඒරාෂ්ඨක අපලයට හේතු වෙයි. කේන්ද්‍ර ස්ථානයක් වූ ලග්නයට සෙනසුරු පැමිණ බලවත් වීම නිසා තුලා ලග්න හිමියන්ගේ බලාපොරොත්තු රැසක් ඉටුවන කාල සීමාවක් වනු ඇත. ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙයි. තරඟ විභාග වලින් ජය අත් වෙයි. දරුඵල අපේක්‍ෂිත අඹුසැමියන්ගේ බලාපොරොත්තු ඉටු වෙයි. නව නිවසක් තැනීමට අදහස් කර සිටියේ නම් එම බලාපොරොත්තුව ඉටු කරගත හැකිය. තනාගෙන යන නිවසේ වැඩ නිමකර ගැනීමට හැකි වෙයි.
වෘශ්චික
දුර බැහැර ගමන් බිමන් වලින් පාඩු
වෘශ්චික ලග්න හිමියන්ගේ දොළොස්වැන්න වූ වැය ස්ථානයට සෙනසුරු පැමිණෙයි. ඔබට පාඩු අලාභ අධික වියදම් ගෙන දෙන වකවානුවකි. දුර බැහැර ගමන් බිමන් විදේශ සංචාර ආදියෙන් පාඩු අලාභ ඇති කරයි. මානසික සිත් පීඩා ඇති වෙයි. වැටීම්, තැලීම්, තුවාල, අනතුරු ලෙඩ දුක් ආදියෙන් ප‍්‍රවේශම් වන්න. අස්ථාන චෝදනා නින්දා අපහාස විඳීමට සිදු විය හැකිය. නීතිමය ප‍්‍රශ්න වලට පැටලීමට ඉඩ තිබේ. නඩුහබ වලින් පරාජය වීමට සිදු වෙයි. දේපල පිළිබඳව ආරවුල් ඇති වෙයි.
ධනු
ආර්ථික තත්ත්වය යහපත් වෙයි
ධනු ලග්න හිමියන්ගේ එකොළෙස්වැන්න වූ තුලා රාශියට සෙනසුරු ග‍්‍රහයා පැමිණෙයි. එකොළෙස්වැන්න අයස්ථානයයි. සෙනසුරුගේ තුලා රාශි ගත වීම ධනු ලග්න හිමියන්ගේ ආර්ථික තත්වය යහපත් වීමට හේතුවන බව පෙන්වයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. සමෘද්ධිමත් කාලයකි. රැකියා, ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසි අත් වෙයි. බලාපොරොත්තු රැසක් ඉටුවන කාලයකි.
මකර
රැකියා/ව්‍යාපර දියුණු වෙයි
මකර ලග්න හිමියන්ගේ දහවැන්නට සෙනසුරු පැමිණෙයි. කේන්ද්‍රයක දහ වැන්න රැකියා ස්ථානයයි. දහවැන්න වූ තුලා රාශියේ සෙනසුරු බලවත් වීමෙන් රැකියා බලාපොරොත්තුව සිටින මකර ලග්න හිමියන්ට ස්ථිර රැකියාවක් ලැබීමට හේතු වෙයි. ව්‍යාපාරික කටයුතුවල නියුතු වූවන්ගේ ව්‍යාපර කටයුතු දියුණුවට පත්වන අතර නව ව්‍යාපාර ආරම්භ කිරිමට බලාපොරොත්තු වූ අයට යහපත් කාලයක් වනු ඇත. ඉදිරි දියුණුවට ස්ථිර අඩිතාලමක් යෙදීමට කටයුතු කරයි. මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති වූ සෙනසුරු දහවැන්න වූ කේන්ද්‍ර ස්ථානයේ බලවත් වීමෙන් පෙර පැවති කරදර බාධක නිමාවට පත් වෙයි.
කුම්භ
සෞභාග්‍ය උදා වෙයි
කුම්භ ලග්න හිමියන්ගේ නමවැන්න වූ භාග්‍ය ස්ථානයට සෙනසුරු පැමිණෙයි. ලග්නාධිපති වූ සෙනසුරු භාග්‍ය ස්ථානයට පැමිණීම කුම්භ ලග්න හිමියන්ට සුබයි. පසුගිය කාලය තුළ අෂ්ඨම ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරමින් පීඩා විඳී කුම්භ ලග්න හිමියන්ට සිතේ සතුට ඇති කරන ග‍්‍රහචාරයකි. පිනට දහමට සිත යොමු කරයි. වන්දනා ගමන් බිමන්වල යෙදෙයි. විදේශ ගත වීමට අදහස් කරගෙන සිටියේ නම් එම බලාපෙරොත්තු ඉටු වෙයි. යස ඉසුරු සැප සම්පත් ලැබේ.
මීන
සිත් පීඩා/පාඩු අලාභ
මීන ලග්න හිමියන්ගේ අට වැන්නට සෙනසුරු පැමිණෙයි. අටවැන්න කේන්ද්‍රයක බාධක ස්ථානයයි. මීන ලග්න හිමියන්ට අෂ්ඨම ඒරාෂ්ඨක අපල කාලයක් උදා වෙයි. කරදර බාධා, සිත් තැවුල්, පාඩු අලාභ ඇති වෙයි. රෝග පීඩා, අනතුරු වලින් ප‍්‍රවේශම් විය යුතුය. වැටීම්, තැලීම්, තුවාල වලින් ප‍්‍රවේශම් වීමටද වගබලා ගන්න. බලාපොරොත්තු ඉටු නොවීම නිසා නිතර සිත කනස්සල්ලට පත් වෙයි. නිතර කේන්තියෙන් කල් ගත කරයි. අන් අය නුරුස්සන ගති ඇති වෙයි. ආර්ථික තත්ත්වය අයහපත් වෙයි. නඩු හබ, උසාවි, පොළිසි යන කරුණු යෙදෙයි. බොරු චෝදනා ආදියට ලක් වෙයි.
සැලකිය යුතුයි.
ඉහත දක්වා ඇති සියලුම පලාපලයන් එකී ලග්නයන් පදනම් කොට ගෙන පොදුවේ ඉදිරිපත් කරන ලද ඒවා බවත් ඔබගේ උප්පත්ති කේන්දරයේ(ජන්ම පත්‍රයේ)ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් ග්‍රහ ගෝචර වලට අනුව එම පලාපලයන් වෙනස් විය හැකි බවත් කරුණාවෙන් සලකන්න.
